සමාජ මාධ්‍ය බලපෑම
Facebook, Twitter, Instagram, Snapchat යනාදි සමාජ මාධ්‍ය හෙවත් social media වෙබ් අඩවි අද ලෝකයේ නැතිවම බැරි අංගයක් බවට පත් වී ඇත. ලෝක ජනගහනයෙන් 1/3කට වඩා ප්‍රමාණයක් අද social media විවිධ ආකාරයෙන් භාවිතා කරයි . ඒ හේතුවෙන් සමාජයේ ඇති වෙමින් පවතින වෙනස් වීම අපේ ඇස් පනා පිට පෙනෙන්නට පවතී . නමුත් සමාජ මාධ්‍ය ජාල භාවිතය මගින් මිනිස් මොළයට වන බලපෑම් (හිතකර හෝ අහිතකර) ගැන අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි .
සමාජ මාධ්‍ය මිනිසුන් වෙත වෙස්‌වලාගෙන පැමිණෙන අතරමැදියකු හා සමානය. ඒ හරහා ඇත්ත වශයෙන්ම සිදුවන්නේ පුද්ගලයකු සිය හදවතේ දොර අගුළුලා ගැනීම පමණය. එය ඉතා භයානක තත්ත්වයක් බවද, එතුළින් සමාජ මාධ්‍යයක විවිධ මතිමතාන්තර අතර අතරමං වීම වළක්‌වා ගත හැක්‌කේ විවෘතභාවය තුළින් පමණය යන්න පර්යේෂකයන්ගේ අදහසයි.
අර්ථයක් නොමැති සමාජ මාධ්‍ය පිළිබඳව ගැඹුරින් සිතා බලන්නට මෙය කාලය වන්නේ එය අපේ පෞද්ගලික ජීවිතයට මෙන්ම, මානසික සෞඛ්‍යයටද බලපෑම් ඇති කරවන බැවිනි. මෙම සමාජ මාධ්‍ය අයිතිකරුවන් දිනෙන් දින කෝටි ප්‍රකෝටිපතියන් බවට පත්වන අන්දම ගැන මෙම සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගෙන් වැඩි දෙනෙක් නොදන්නා කරුණකි. සමාජ මාධ්‍යවලට වසඟ වීම අපගේ පුද්ගලිකත්වයට තර්ජනයක් වේ. සමාජ මාධ්‍ය පිළිබඳව ඉතා වෙහෙසීමෙන් පර්යේෂණය කළ පර්යේෂකයන් කණ්‌ඩායමක් පවසා තිබුණේ ඔවුන් නිරීක්‌ෂණය කළ කරුණු අනුව සමාජ මාධ්‍ය භාවිතා කරන අයගෙන් බෝහෝ දෙනකුගේ සිත් තුළ තමන් කාලය නාස්‌ති කර දැමුවා, මට කිසිම පලදායි දෙයක් ලැබුණේ නැත යන ආකල්පය වර්ධනය වේගෙන යන බව පෙනෙන්නට ඇති බවයි.
ක්‍රිස්‌ටිනා සැගීයෙග්ලු සහ ටෝබියාස් ග්රෙට්‌මියර් 2014 වසරේදී සොයාගෙන ඇත්තේ සමාජ මාධ්‍ය භාවිතය අසතුට ගෙන එන බවයි . එලියට් ටී. පැනෙක් සහ සොරියෝස් නාඩිස් එය එක් එක් සමාජ මාධ්‍ය අනුව වෙනස් වන බව සොයා ගෙන ඇත. සමාජ මාධ්‍ය භාවිතයේ වඩාත්ම අහිතකර ප්‍රතිඵල විඳින්නේ සමාජයක දරුවන්ය. ඕනෑම සමාජයක දරුවන් යනු එම සමාජය යහපත හෝ අයහපත වෙත රැගෙන යන්නා වුන්ය. වැඩිහිටියන් පවා මෙම සමාජ මාධ්‍ය තුළ නන්නත්තාර වන යුගයක දරුවන් එයින් නොමග යැමට ඇති ඉඩ ප්‍රස්‌ථාව ඉතාම වැඩිය. මෙම සමාජ මාධ්‍ය හරහා ඔවුන් හුදෙකලා අඳුරු ලොවකට තල්ලු කර හරින අතර, එහිදී ඔවුන් ආතතියට පත් වීමද, සුව නින්දක් නොලැබීමේ තත්ත්වයටද පත්වීමද අවසානයේ තමාට හානි කරගන්නා මට්‌ටමකට පවා පත්විය හැක.

No comments:
Post a Comment